• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම
- මොනරාගල දිස්ත්‍රික්කය භූගෝලීය වශයෙන් දෙවන විශාලතම දිස්ත්‍රික්කය වුවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු කාර්යාලයක් හෝ පුහුණු මධ්‍යස්ථානයක් එම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක නොවේ. එම දිස්ත්‍රික්කයට ආසන්නතම පුහුණු මධ්‍යස්ථාන වනුයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල පුහුණු මධ්‍යස්ථානය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල පුහුණු මධ්‍යස්ථානය හා අම්පාර දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය වේ. දැනට දිවිනැඟුම දෙපාර්තමේන්තුව භාරයේ පවතින මොනරාගල බිබිල පාරේ පිහිටි පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා යොදා ගැනීමට හැකියාව පවතින අතර, එමඟින් මොනරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල විදේශ රැකියා අපේක්ෂා කරන්නන්හට අවශ්‍ය පුහුණු පහසුකම් සලසා දීමට හැකියාව පවතී. ඒ අනුව, දැනට දිවිනැඟුම දෙපාර්තමේන්තුව භාරයේ පවතින මොනරාගල බිබිල පාරේ පිහිටි පුහුණු මධ්‍යස්ථානය හා පරිශ්‍රය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැවරීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.