• Increase font size
  • Default font size
  • Decrease font size

2022-12-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමථකරණය (සිවිල් සහ වාණිජ ආරවුල් නිරාකරණය) පනත් කෙටුම්පත
- වාණිජ සමථකරණය සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථකරණ මධ්‍යස්ථාන පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුව ද, විවිධ තාක්ෂණික හේතු සහ ඇතැම් සීමාවන් හේතුවෙන් එකී පනතින් අපේක්ෂිත කාර්යයභාරය ඉටු කර ගැනීමට හැකි වී නොමැත. වර්තමානයේ ආරවුල් විසඳීම සඳහා ස්වේච්ඡා සමථකරණය බොහෝ රටවල් විසින් අනුගමනය කරනු ලබන අතර එකී රටවල් බොහොමයක් ස්වේච්ඡා සමථකරණය සඳහා නීති රීති හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එමෙන්ම, ස්වේච්ඡා සමථකරණය සාධාරණ හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලබන පාර්ශ්වයන්ට එරෙහිව කටයුතු කිරීමට සිය අධිකරණයන්ට බලය පැවැරීමට ද එවැනි රටවල් අවශ්‍ය නීති සම්පාදනය කරනු ලැබ ඇත. එකී ජාත්‍යන්තර ප්‍රවණතාව කෙරෙහි අවධානය යොමු කරමින් ස්වේච්ඡා සමථකරණය දිරිගැන්වීම පිණිස මෙරට නීති පද්ධතිය සඳහා නව නීති හඳුන්වා දීමේ අවශ්‍යතාව පෙනී ගොස් තිබේ. ඒ අනුව, 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථකරණ මධ්‍යස්ථාන පනත පරිච්ඡින්න කිරීම සඳහාත්, සිවිල් සහ වාණිජ ආරවුල් සඳහා වන ස්වේච්ඡා සමථකරණය පිළිබඳ නීති ප්‍රතිපාදන හා ඊට අදාළ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සඳහාත් සමථකරණය (සිවිල් සහ වාණිජ ආරවුල් නිරාකරණය) පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.