• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුරෝපා සංගමයේ ප්‍රදාන මඟින් මූල්‍යයනය කිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සහ හරිත ප්‍රතිපත්තිමය කතිකාවත පහසු කිරීමේ ව්‍යාපෘතිය
- ‘හරිත ප්‍රතිපත්ති මත යථාවත් වූ ශ්‍රී ලංකාවක්’ සහ ‘ආවරණිත සාමකාමී සමාජයක්’ ඇති කිරීම සඳහා සහාය වීමේ අරමුණින් 2021 සිට 2027 දක්වා කාලසීමාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා වන යුරෝපා සංගමයේ බහුවාර්ෂික දර්ශක වැඩසටහන යටතේ අරමුදල් සලසා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ ක්ෂේත්‍ර සහ සහාය කාර්යයන් වෙනුවෙන් 2021-2024 කාලසීමාව සඳහා යුරෝ මිලියන 60ක දර්ශක ප්‍රදාන අරමුදලක් වෙන් කර තිබේ. ඒ යටතේ ශ්‍රී ලංකාවේ “සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය” සහ “හරිත ප්‍රතිපත්තිමය කතිකාවත පහසු කිරීමේ ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 16ක ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ප්‍රදානයන් ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ ප්‍රදාන ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.