• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු ප්‍රදාන සහාය යටතේ ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- ඉන්දියානු ප්‍රදාන සහාය යටතේ ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය 2005 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2005-2010, 2010-2015 හා 2015-2020 යන කාලසීමාවන්ට අදාළව දෙරට අතර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා ඇත. එම ව්‍යාපෘතිය යටතේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රජා සංවර්ධන ක්ෂේත්‍රවල යටිතල පහසුකම් සලසා දීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ලබයි. ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන උප ව්‍යාපෘතියක පිරිවැය ශ්‍රී ලංකා රුපියල් මිලියන 300කට සීමා වන අතර, ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කරනු ලබන මුළු ව්‍යාපෘති සංඛ්‍යාවේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 5ක උපරිමයට යටත් වේ. එහෙත්, රට තුළ දැනට පවතින ආර්ථික අර්බුදය හා ඉහළ උද්ධමනය හේතුවෙන් රුපියල් මිලියන 300ක උපරිම පිරිවැය සීමාව තුළ ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපහසු වී ඇති බැවින්, එකී සීමාව රුපියල් මිලියන 600 දක්වා වැඩි කිරීමටත්, ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල මුළු පිරිවැය රුපියල් බිලියන 10 දක්වා ඉහළ නැංවීමටත් දෙපාර්ශ්වය එකඟවී ඇත. ඒ අනුව, දෙරට අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.