• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනත සංශෝධනය කිරීම
- 2012 දෙසැම්බර් මස 05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, ඒ සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගත යුතු බවට නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී තිබේ. කඩදාසි ලේඛනවලට අමතරව ශ්‍රව්‍ය දෘෂ්‍ය ලේඛන, සිනමා ලේඛන හා ඩිජිටල් ලේඛන විශාල වශයෙන් සංරක්ෂණය සඳහා ඉදිරිපත් වන බැවින් අන්තර්ජාතික ප්‍රමිතීන්ට හා ජාතික අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් ජාතික ලේඛනාරක්ෂක පනත තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ලේඛන කළමනාකරණය, ලේඛන සංරක්ෂණය සහ ඩිජිටල් ලේඛන කළමනාකරණය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර යෝග්‍ය සංශෝධන හඳුනා ගැනීමටත්, ඒ අනුව සුදුසු විධිවිධාන ඇතුළත් කරමින් දැනටමත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීමටත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.