• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 අංක 27 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව "අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටුව" පත් කිරීම
- 2002 අංක 2 දරන බලශක්ති සැපයුම් (තාවකාලික විධිවිධාන) පනතේ 02 වන වගන්තියේ විධිවිධාන පරිදි පත් කරන ලද "බලශක්ති සැපයුම් කමිටුවේ" නිර්දේශ මත විෂය භාර අමාත්‍යවරයාට ඕනෑම පුද්ගලයෙකු හෝ සමාගමක් වෙත ඛනිජතෙල් ආනයනය, අපනයනය, විකිණීම, සැපයීම හා බෙදාහැරීම සඳහා බලපත්‍ර ලබා දිය හැකි බවට වන විධිවිධාන 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනතේ 5(1) වගන්තියේ ඇතුළත්ව පවතී. එහෙත්, 2002 අංක 2 දරන බලශක්ති සැපයුම් (තාවකාලික විධිවිධාන) පනත වසර දෙකක කාලයක් සඳහා පැනවීම හේතුවෙන් එම පනතේ විධිවිධාන යටතේ පත් කරන ලද බලශක්ති සැපයුම් කමිටුව අහෝසි වී ඇත. 2022 අංක 27 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනතේ විධිවිධාන පරිදි "බලශක්ති සැපයුම් කමිටුව" වෙනුවට "අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවක්" පත් කිරීමට විධිවිධාන සැලසී ඇත. ඒ අනුව, එකී කමිටුව පත් කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.