• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජය සහ මුරුසි ජනරජය අතර දඬුවම් නියම වූ පුද්ගලයින් හුවමාරු කිරීමේ ගිවිසුම
- 1995 අංක 5 දරන වැරදිකරුවන් හුවමාරු කිරීමේ පනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් වරදකරු කර සිරගත කරන ලද වෙනත් රටක පුරවැසියෙකුට ඔහු/ඇය පුරවැසියෙකු වන රටේ ඔහුගේ/ඇයගේ දඩුවම ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි කටයුතු කිරීමට හැකියාව පවති. එමෙන්ම, කිසියම් රටක සිරගත කර සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ඔහුගේ/ඇයගේ ඉතිරි සිරදඬුවම් කාලය ගෙවීම සඳහා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය විධිවිධාන ද එකී පනතේ පවති. එලෙස කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ අදාළ අනෙක් රට අතර ගිවිසුමකට එළඹ තිබීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ මුරුසි ජනරජය අතර දඬුවම් නියම වූ පුද්ගලයින් හුවමාරු කිරීම සඳහා වන ගිවිසුමකට එළඹීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.