• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සහහාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් "ජනසභා ක්‍රමය" ස්ථාපිත කිරීම උදෙසා "ජාතික ජන සභා ලේකම් කාර්යාලය" පිහිටුවීම
- ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ක්‍රියාත්මක වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් මඟින් සැබෑ ජනතා ප්‍රශ්න ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොවන බවත්, මෙම ක්‍රමය තුළ පාලන කේන්ද්‍රය සහ පරිධියේ ජනතාව අතර පවතින සම්බන්ධතාව දුරස් වෙමින් පවතින බවත්, ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහජන අදහස්වලට ප්‍රමාණවත් සවන් දීමක් සිදු නොවන බවත්, ඒ සම්බන්ධයෙන් සාමාජීය වශයෙන් විවේචනයන් පැන නැ‍ඟෙමින් පවතින බවත්, එකී විවේචනයන් මත පදනම්ව සමාජය තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව අදහස් හා විරෝධතා මතුවෙමින් පවතින බවත් පෙනී ගොස් ඇත. එම තත්ත්වය යටතේ ග්‍රාමීය මට්ටමින් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිතව ක්‍රියාත්මක වන සංවිධාන ව්‍යුහයක් තුළ, රාජ්‍ය නිලධාරින්ට සහ මහජනතාවට එක්ව ග්‍රාමීය ප්‍රශ්න සාකච්ඡා කළ හැකි, සංවර්ධන ප්‍රමුඛතා තීරණය කළ හැකි හා ග්‍රාමීය ජනතාවට තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගි විය හැකි ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍යව ඇත. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පරිධියේ ජනතාවට සිය අදහස් සක්‍රීය ලෙස ලබා දිය හැකි වන සහ ප්‍රජා සහභාගිත්වය සහිතව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකි වන විධිවිධාන සහිත යාන්ත්‍රණයක් තුළින් නිලධාරිවාදය හා අත්තනෝමතික දේශපාලනීකරණය හරහා සිදු විය හැකි මහජන පීඩාවන් සඵලදායී හා කාර්යක්ෂම ලෙස වළක්වා ගැනීමට හැකි වනු ඇත. ඒ අනුව, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ එම ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සහභාගිත්වය ලබා ගත හැකි ස්වාධීන ආයතනික ව්‍යුහයක් සහිතව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මූලිකත්වයෙන් "ජන සභා ක්‍රමය" පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී සංකල්ප පත්‍රිකාව මඟින් දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදි "ග්‍රාමීය ජන සභා" පිහිටුවීමටත්, ජාතික මට්ටමින් "ජාතික ජන සභාව" පිහිටුවීමටත් යෝජනා කරනු ලැබ තිබේ. එකී සංකල්ප පත්‍රිකාව මඟින් යෝජිත "ජන සභා ක්‍රමය" රජය විසින් මූලික ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගැනීමටත්, "ජන සභා ක්‍රමය" ස්ථාපිත කිරීම සඳහා වන ජාතික මට්ටමේ ස්වාධීන කේන්ද්‍රීය ආයතනය ලෙස "ජාතික ජන සභා ලේකම් කාර්යාලය" ස්ථාපිත කිරීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.