• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රේගු ආඥාපනත සහ 2006 අංක 1 දරන ආණ්ඩුවේ ආදායම ආරක්ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
- රේගු ආඥාපනතේ 47 සහ 57 වන වගන්ති හා 2006 අංක 1 දරන ආණ්ඩුවේ ආදායම ආරක්ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අතරතුර, රේගු ආඥාපනතේ 153 වන වගන්තියේ විධිවිධාන හේතුවෙන් භාණ්ඩ රාජසන්තක කිරීම හා දණ්ඩන පැනවීම මඟින් රජයට හිමිවන ආදායම ඉතා අඩු මට්ටමක පවතින බැවින් එකී වගන්තිය සංශෝධනය කිරීමේ යෝග්‍යතාව රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් පෙන්වා දී තිබේ. එසේම, ආනයනකරුවන් සහ අපනයනකරුවන් සඳහා වෙළෙඳ කටයුතු පහසු කිරීමේ පියවරක් වශයෙන් රේගු කටයුතු සම්බන්ධිත විමර්ශන කිරීම හා එකී විමර්ශන නිම කිරීම සඳහා ව්‍යවස්ථාපිත කාලසීමාවක් නියම කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, යෝග්‍ය විධිවිධාන හඳුන්වා දෙමින් තවදුරටත් රේගු ආඥාපනත සහ ආණ්ඩුවේ ආදායම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.