• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීම
- සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්‍රික් ටොන් 600,000ක් පමණ අවශ්‍ය වන අතර මේ වන විට වෙළෙඳපොළ තුළ බඩඉරිඟුවල උග්‍ර හිඟයක් පවතී. 2022 දෙසැම්බර් මස 31 දිනට පෙර ආහාර නිෂ්පාදන සමාගම් හා සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය අලෙවි කරන්නන් හරහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 225,000ක් ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කර ඇතත්, පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් ජුනි මස අග වන විට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 38,000ක් පමණක් ආනයනය කරනු ලැබ තිබේ. මේ වන විට දේශීය වෙළෙඳපොළෙහි බඩඉරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 220/-ක් දක්වා වැඩිවී ඇති අතර ඒ හේතුවෙන් සත්ත්ව ආහාර මිල ගණන්ද ඉහළ ගොස් ඇත. ඒ අනුව, කුකුළු මස් හා බිත්තර මිල ගණන් ද වැඩි වී ඇත. කුකුළු පාලනයේ නිරත වන්නන් කුකුළු පැටව් අභිජනනය කිරීමෙන් තොරව බිත්තර විකිණීම සහ කුකුළු පාලනයෙන් ඉවත්වීම හේතුවෙන් ඉදිරි කාලය තුළ සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ දැඩි අර්බුදයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී තිබේ. එබැවින්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත, සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර්ග මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීම පිණිස ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අවසර ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.