• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම සහ ඌව පළාත්වල කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ සමාජ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය
- කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ප්‍රජාවන්ගේ සමාජ, ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය විසින් අරමුදල් සපයන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. 2022 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා වසර 04ක කාලයක් පුරා ස්වස්ථතාව, සෞඛ්‍යය සහ කෘෂිකර්මාන්තය යන ප්‍රධාන සංරචක තුන (03) යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක පුද්ගලයින් 72,400ක් පමණ ද, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක පුද්ගලයින් 19,350ක් පමණ ද සෘජු ප්‍රතිලාභ ලබනු ඇත. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය විසින් ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 06ක ප්‍රදානය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන විසින් ඉටු කරනු ලබන අතර එහි සියලු සම්බන්ධීකරණ කටයුතු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර ත්‍රෛපාර්ශ්වීය සාකච්ඡා වාර්තා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.