• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම
- පවතින ආර්ථික තත්ත්වය යටතේ රාජ්‍ය සේවය සඳහා බඳවාගැනීම් තාවකාලිකව අත්හිටුවීමට රජය විසින් තීරණය කරනු ලැබීම හේතුවෙන් සේවා ව්‍යවස්ථා සහ බඳවාගැනීම් පටිපාටීන්හි විධිවිධාන පරිදි අනුමත තනතුරු සඳහා වන පුරප්පාඩු පිරවීමේ කටයුතු සඳහා ආරම්භ කරනු ලැබ ඇති ක්‍රියාමාර්ග නතර කිරීමට සිදුව ඇත. අනුමත බඳවාගැනීමේ පටිපාටි අනුගමනය කරමින් මෙන්ම පැවති රජයන් විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයන් යටතේ වරින් වර උපාධිධාරින් හා වෙනත් සේවක කණ්ඩායම් සෘජුවම රාජ්‍ය සේවය සඳහා බඳවාගැනීම හේතුවෙන් සමස්තයක් ලෙස රාජ්‍ය සේවයේ සේවක අතිරික්තයක් පැවතියද ඇතැම් සේවක ගණයන්හි තනතුරුවල පුරප්පාඩු පවතින බව වාර්තා වී ඇත. එමෙන්ම, බඳවාගැනීමේදී විවිධ ක්‍රම අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය සේවය තුළ පැන නැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් යෝග්‍ය පියවර ගත යුතුව ඇත. ඒ අනුව, ඉහත සඳහන් කරුණු සමාලෝචනය කරමින්, රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා සිදු කළ යුතු අත්‍යවශ්‍ය බඳවාගැනීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා හඳුනාගෙන ඒ සඳහා කාලරාමු නිර්දේශ කිරීමටත්, දැනට රාජ්‍ය සේවය තුළ පැන නැඟී ඇති ගැටලු සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමටත් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.