• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය
- පවතින ආර්ථික අර්බුදය හමුවේ වඩාත් අභියෝගාත්මක ගැටලුවක් වශයෙන් ආහාර සුරක්ෂිතතාව හඳුනාගනු ලැබ ඇති අතර දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනය අඩුවීමත් ජාත්‍යන්තර වශයෙන් මිල ගණන් ඉහළ යාමත් එම ගැටලුව තවදුරටත් තීව්‍රර කිරීමට හේතු වී ඇත. එම තත්ත්වය යටතේ ඉදිරියේදී උග්‍ර ආහාර හිඟයක් සහ මිල උද්ධමනය ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි අතර එය ආහාර සුරක්ෂිතතාව තවදුරටත් පිරිහීමට හේතු වනු ඇත. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ විරැකියාව වැඩිවීම සහ ගෘහස්ථ ආදායමට එල්ල වී ඇති විශාල බලපෑම මඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඇති ප්‍රවේශය තවදුරටත් සංකීර්ණ වී ඇති අතර දේශීය රුපියලේ අගය අවප්‍රමාණය වීම මත ආනයනික සැපයුම් මිල දී ගැනීමේ හැකියාව සීමා වීම හේතුවෙන් ආහාරවල මිල ගණන් තවදුරටත් ඉහළ යාමට ඉඩකඩ පවතී. ඒ අනුව, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා කඩිනම් පියවරක් වශයෙන් ඉදිරි වසර දෙකක කාලය තුළ කෙටිකාලීන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එකී වැඩසටහන කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ආහාර සුරක්ෂිතතා හා පෝෂණ සභාව සහ පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සඳහා බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.