• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකයක් ස්ථාපිත කිරීම
- රජය සතු වාණිජ ව්‍යාපාරයන්හි කාර්යසාධනය දීර්ඝ කාලයක් තිස්සේ සතුටුදායක තත්ත්වයක නොපවතින අතර ඇතැම් ව්‍යාපාර විවිධ හේතුන් මත අඛණ්ඩව පාඩු ලබමින් සිටී. මෙම තත්ත්වය මහා භාණ්ඩාගාරය වෙත දැඩි පීඩනයක් ඇති කිරීමට ‍හේතු වී ඇති බැවින් එවැනි ව්‍යාපාර කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුව තිබේ. ඒ අනුව, මහා භාණ්ඩාගාරය වෙත පැවරී ඇති මූල්‍ය බර අවම කර ගැනීම සඳහා වන ක්‍රම හඳුනාගැනීමත්, රජය සතු ව්‍යවසායන්හි සමස්ත කාර්යසාධනය වැඩිදියුණු කිරීමත් අරමුණු කරගෙන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මඟ පෙන්වීම සහ සහාය වීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ ඒකකය ස්ථාපිත කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.