• Increase font size
  • Default font size
  • Decrease font size

2022-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී ගොවීන් විසින් ලබා ගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හැරීම
- පාස්කු ප්‍රහාරය හා ඉන් පසුව ඇති වූ කොවිඩ් - 19 වසංගත තත්ත්වය මූලික කර ගෙන රට තුළ නිර්මාණය වූ ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින අතර පොදුවේ සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම සෘජු හා වක්‍ර ලෙස දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී. එම තත්ත්වය සමස්ත ජනගහනයෙන් 30%ක් පමණ වන ගොවි ජනතාවට ද දරා ගැනීමට අපහසු වී ඇති අතර, රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර සඳහා යොමුවීමේ තීරණය නිසා ගොවීන්ට තවදුරටත් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත. එම තත්ත්වය යටතේ වී වගාව සඳහා ගොවීන් විසින් ලබා ගෙන ඇති ණය මුදල් ආපසු ගෙවීම අතපසු වී ඇති අතර එකී ණය අක්‍රීය ණය ලෙස බැංකු විසින් වර්ගීකරණය කරනු ලැබ තිබේ. ඒ හේතුවෙන් ඉදිරි මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ණය මුදල් ලබා ගැනීමට බොහෝ ගොවීන් නුසුදුස්සන් වීමට ඉඩ ඇති බැවින් රජයේ මැදිහත්වීම මත ඔවුන්ට සහන සැලසීම අත්‍යවශ්‍ය වී තිබේ. ඒ අනුව, හෙක්ටයාර දෙකක් හෝ ඊට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මඟින් ලබා ගෙන මේ වන විටත් ගෙවීමට අපහසු වී ඇති මූලික ණය මුදල් කපා හැරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.