• Increase font size
  • Default font size
  • Decrease font size

2022-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 වර්ෂය සඳහා වන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- විනිමය අනුපාතය අවප්‍රමාණය වීම හා උද්ධමනය ඉහළ යාම මෙන්ම ඉන්ධන, ගෑස් හා විදුලිය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ආදී කරුණු හේතුවෙන් සාමාන්‍ය ජීවනෝපායන් පවත්වාගෙන යාමට මෙන්ම කෘෂිකර්මය, ප්‍රවාහනය, කර්මාන්ත සහ අපනයන යනාදී අංශවලට දැඩිව බලපෑමක් ඇති කරමින් ජන ජීවිතය දැඩි අසහනකාරී තත්ත්වයකට පත් වී තිබේ. එම තත්ත්වය යටතේ 2022 වර්ෂය සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීම පිණිස 2022 ජුනි මස 06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එසේම, ආර්ථික ස්ථායීතාවය සඳහා ආදායම ඉහළ නැංවීමේ අරමුණින් බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් 2022 වර්ෂය සඳහා 2021 අංක 30 දරන විසර්ජන පනතින් සම්මත කරන ලද අයවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමටත්, ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද සහ නීතිපති විසින් නිෂ්කාශනය කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.