• Increase font size
  • Default font size
  • Decrease font size

2022-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි භෝග වගා වැඩසටහන්
- බන්ධනාගාර රැඳවියන්, සිරකුටි තුළ රඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනුවට ඔවුන් දැයේ මානව සම්පතක් ලෙස දැකීම තුළින් රැඳවි ශ්‍රමය රටේ කෘෂිකාර්මික සංවර්ධනයට දායක කර ගැනිමේ අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් "සරුසාර - සිපිරිගෙයින් ගොවිබිමට" නමින් කෘෂි භෝග වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශකත්වය යටතේ එළිමහන් සිරකඳවුරු සහ වැඩ කඳවුරු තුළ උපරිම වශයෙන් ඵලදාවක් ලබා ගත හැකි කෘෂි භෝග වගා කිරීමටත්, එමඟින් ලැබෙන අස්වැන්න බන්ධනාගාර නේවාසිකයින්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොදා ගැනීමටත් මෙම වැඩසටහනින් අපේක්ෂා කෙරේ.

ඊට අමතරව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය මඟින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථාන 03ක් යටතේ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එම කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා නැඟෙනහිර පළාතේ කන්දකාඩු සහ නවසේනපුර යන ප්‍රදේශයන්හි මහවැලි අධිකාරියට සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වගා නොකළ ඉඩම් අක්කර 1,000ක් ලබා ගෙන ඉන් අක්කර 500ක භූමි ප්‍රමාණයක බඩඉරිඟු සහ ඉතිරි භූමි ප්‍රමාණයේ එම ප්‍රදේශයට ආවේනික ධාන්‍ය, එළවලු සහ පලතුරු පුනරුත්ථාපනලාභීන්ගේ ශ්‍රමදායකත්වයෙන් වගා කිරීමට සැලසුම් කර ඇත. එකී වැඩසටහන් සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.