• Increase font size
  • Default font size
  • Decrease font size

2022-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැනට රට තුළ පවතින විවිධ කර්මාන්ත සඳහා භාවිත කරන ඇමෝනියම් නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය හිඟය මගහරවා ගැනීම සඳහා විකල්ප පියවර
- සිමෙන්ති/වෝටර් ජෙල්/ඉමල්ෂන් නිෂ්පාදන කර්මාන්තයන් සහ කළුගල් පුපුරවා හැරීමේ ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා ඇමෝනියම් නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය ආනයනය/ගබඩා කිරීම හා බෙදාහැරීමේ ඒකාධිකාරය සීමාසහිත රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත පැවරී ඇත. දැනට රට තුළ පවතින විදේශ විනිමය හිඟය සහ එකී පුපුරණ ද්‍රව්‍ය සීමාසහිත රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත දීර්ඝකාලීනව සපයන ලද සැපයුම්කරුට එම ද්‍රව්‍ය සැපයීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට රට තුළ ඇමෝනියම් නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය හිඟයක් පවතී. ඒ හේතුවෙන් එකී පුපුරණ ද්‍රව්‍ය භාවිත කරනු ලබන කර්මාන්තවල කටයුතුවලට දැඩි බලපෑමක් ඇති වී තිබේ. එම ගැටලුවට පිළියමක් වශයෙන් කෙටිකාලීනව ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීම මත කඩිනමින් මෙරටට ඇමෝනියම් නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.