• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම
- ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිර්වචනය කර නොතිබීම හේතුවෙන් එවැනි නඩු විභාග කිරීමට හා තීරණය කිරීමට පැහැදිලි සහ ඒකාකාරී ක්‍රියා පටිපාටියක් දැනට අනුගමනය කරනු නොලබයි. ඒ හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත්වීමේ සීමාවන් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ වන සීමාවන් කොතෙක් ද යන්න පිළිබඳව තේරුම් ගැනීම අපහසු වී ඇත. එසේම, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෑතකාලීනව දැඩි විවේචනයට ලක් වූ නඩු පිළිබඳව සලකා බැලීමේදී ඒ පිළිබඳ නීතිය නැවත සලකා බැලීම යෝග්‍ය බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, යෝග්‍ය නීති හඳුන්වාදීමේ අරමුණින් ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව විසින් මූලික කෙටුම්පතක් පිළියෙල කර ඇත. එකී මූලික කෙටුම්පත මත පදනම්ව නව නීතියක් පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.