• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාන්තා විගමනික ශ්‍රමිකයින් සඳහා පවුල් පසුබිම් වාර්තාව පිළිබඳ අවශ්‍යතාව ඉවත් කිරීම
- ගෘහ රැකියා සඳහා විදේශගත වන කාන්තා විගමනිකයින්ගේ දරුවන් වයස අවුරුදු 05ට නොඅඩු බව තහවුරු කර ගැනීමේ අරමුණින් දැනට පවතින "පවුල් පසුබිම් වාර්තාවක්" ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව හේතුවෙන් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි බලපෑමක් සිදු කරන බව කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති අන්තර්ජාතික වාර්තා කිහිපයකම පෙන්වා දී ඇත. එසේම ඇතැම් අවස්ථාවලදී එකී වාර්තාව ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබියදී ද ඇතැම් නිලධාරින් විසින් විවිධ හේතූන් මත එකී වාර්තා ප්‍රමාද කිරීම මඟින් විදේශගත වීමට අපේක්ෂා කරනු ලබන කාන්තාවන් අපහසුතාවන්ට පත් කරනු ලබන බවට ද කරුණු ඉදිරිපත් වී ඇත. එම වාර්තාව ඉදිරිපත් කිරීමට සුදුසුකම් නොමැති ඇතැම් කාන්තාවන් වෙනත් නීති විරෝධී මාර්ග ඔස්සේ කිසිදු අධීක්ෂණයකින් තොරව විදේශගත වී විවිධ ගැටලුවලට මුහුණපා ඇති බවත් වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, වයස අවුරුදු දෙක (02) හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේදී අනිවාර්ය පවුල් පසුබිම් වාර්තාව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.