• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පහසු කිරීම සඳහා “ජාතික තනි කවුළුව” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- ලෝක වෙළෙඳ සංවිධානයේ වෙළෙඳ කටයුතු පහසු කිරීමේ ගිවිසුම 2017 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව ද එකී ගිවිසුමේ පාර්ශ්වකරුවකු වේ. එකී ගිවිසුමට අනුකූලව දේශසීමාවන් හරහා රටවල් අතර සිදු කරන වෙළෙඳ කටයුතුවලදී (ආනයන, අපනයන හා ප්‍රතිනැව්ගත කිරීම්) සහභාගිත්ව වෙළෙඳ කටයුතු නියාමන අධිකාරීන් වෙත ඉදිරිපත් කළ යුතු ලේඛන හා දත්ත ඉදිරිපත් කිරීම සඳහා එක් ස්ථානයක් (තනි කවුළුවක්) ආරම්භ කර පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව බැඳී සිටී. ලෝක බැංකු මූල්‍ය පහසුකම් යටතේ ඒ සඳහා වන ව්‍යාපෘතියට අදාළ විධිමත් සැලැස්මක් 2018 වර්ෂයේදී සකස් කරනු ලැබ ඇත. එකී සැලැස්ම පරිදි අදියර තුනක් (03) යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15‍ ක් වන අතර ලෝක බැංකුව සහ අනෙකුත් සංවර්ධන පාර්ශ්වකරුවන් වෙතින් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, යෝජිත “ජාතික තනි කවුළුව” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.