• Increase font size
  • Default font size
  • Decrease font size

2022-06-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතෙහි 46 වගන්තිය සංශෝධනය කිරීම
- කම්කරු විනිශ්චය සභා ස්ථාපිත කරන ලද අවධියේ පටන් නීතිඥයින් හා සමාන පදනමින්, කම්කරු විනිශ්චය සභා ඉදිරියේ පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් පෙනී සිටීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින්ට සහ නීතීඥ නොවන නියෝජිතයින්ට ද අවස්ථාව සලසා දී ඇත. එහෙත්, මෑතක සිට නීතිඥයින් නොවන නියෝජිතයින්ට කම්කරු විනිශ්චය සභා ඉදිරියේ පෙනී සිටීම සම්බන්ධයෙන් විවිධ ගැටලු පැන නැඟී තිබේ. එම තත්ත්වය වැළැක්වීමේ අරමුණින් කම්කරු කොමසාරිස් හෝ බලයලත් නිලධාරියෙකු, බේරුම්කරුවෙකු, කාර්මික අධිකරණයක් හෝ කම්කරු විනිශ්චය සභාවක් ඉදිරියේ අදාළ පාර්ශ්වයන් විසින් බලය ලබා දෙන ලද නියෝජිතයෙකුට එකී පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටීමට හැකි වන පරිදි 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම පිණිස 2017 02 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.