• Increase font size
  • Default font size
  • Decrease font size

2022-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දහනවවන සහ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් පදනම් කරගෙන විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කිරීම
- රට තුළ පවතින වාතාවරණය යටතේ දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා දේශපාලන, ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයක් ඇති කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සුදුසු සංශෝධනයන් හඳුන්වා දීම යෝග්‍ය බවට දේශපාලන, වෘත්තීය හා සමාජයේ විවිධ ස්ථර නියෝජනය කරනු ලබන පාර්ශ්වයන් රාශියක් විසින් අවධාරණය කරනු ලැබ ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගෙන ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් තීරණයන්ට එළඹෙන ලදී:

* දහනවවන සහ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්හි සාධනීය කරුණු පදනම් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවට වැඩි බලතල පැවරෙන අයුරින් විසිඑක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීම පිණිස මූලික පනත් කෙටුම්පතක් කඩිනමින් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට අවශ්‍ය මග පෙන්වීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම.

* ඉහත පරිදි සකස් කරනු ලබන මූලික පනත් කෙටුම්පත සහ දැනටමත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා පිළිබඳව සාකච්ඡා කර පොදු එකඟතාවක් සහිත කෙටුම්පතක් සකස් කිරීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාට බලය පැවරීම.