• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- සේවායෝජකයින් විසින් කම්කරු නීති අණ පනත්හි සඳහන් විධිවිධාන උල්ලංඝණය කිරීම් හා සේවකයින්ට හිමි ව්‍යවස්ථාපිත හිමිකම් අයකරදීම් වැනි කෙටි කලකින් විසඳිය හැකි නඩුකරයන් විශාල සංඛ්‍යාවක් මහේස්ත්‍රාත් අධිකරණවල පවරා ඇති අතර, ඒ සම්බන්ධයෙන් තීන්දු ලබාදීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බව පෙනී ගොස් තිබේ. එම කරුණු සැලකිල්ලට ගෙන කම්කරු නීති අණපනත් යටතේ ගොනු කරන නඩු කඩිනමින් විසඳීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභා වෙත සමගාමී අධිකරණ බලයක් පැවරෙන පරිදි කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනතක් හඳුන්වා දීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.