• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල පුනර්ජීවනය සඳහා එක්වරක් පමණක් ගෙවන දීමනාවක් ලබා දීම
- හානිපූරණ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ අනුව, විවිධ තත්ත්වයන් යටතේ සන්තාපයන්ගෙන් පීඩා විඳි පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට හා ප්‍රතිස්ථාපනය කර ගැනීමට සහාය වීම සඳහා ප්‍රතිපත්ති සකස් කර ඇත. ඒ අනුව, අනාගත පරපුර ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය හා ආරක්ෂාව සඳහා වන සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට හැකි වන පරිදි දැනටමත් සකස් කර ඇති ප්‍රතිපත්තීන්ට අනුගතව අදාළ පවුල්වලට ආධාර කළ යුතුව තිබේ. 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත මඟින් අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් නිසි විමර්ශන පැවැත්වීමෙන් පසු මරණ සහතිකය හෝ දක්නට නොමැති වීමේ සහතිකය හෝ නිකුත් කිරීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත නිර්දේශ කරනු ලබයි. ඒ අනුව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අනාවරණය කර ගනු ලබන කරුණු මත රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන දක්නට නොමැති බවට වූ සහතිකයක් හිමි අතුරුදහන් වූවන්ගේ ළඟම ඥාතියාට පවුලේ පුනර්ජීවනය වෙනුවෙන් එක්වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 100,000/-ක දීමනාවක් ගෙවීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.