• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම, වනාන්තර හා වෙනත් ඉඩම් පරිහරණ ක්ෂේත්‍ර සඳහා විනිවිදභාවය වැඩිදියුණු කළ රාමුවක් සකස් කිරීමේ ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාව 1993 වර්ෂයේ සිට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශ්ව රාජ්‍යයක් වශයෙන් කටයුතු කරන අතර, 2016 වර්ෂයේදී පැරිස් ගිවිසුම අපරානුමත කර ඇත. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ ජාතික කේන්ද්‍රස්ථානය වශයෙන් පරිසර අමාත්‍යාංශය කටයුතු කරනු ලබයි. එම ගිවිසුමේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකාවේ ජාතිකත්ව නිර්ණය කරන ලද දායකත්ව 2021 ජූලි මස 30 වන දින එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර 02ක් වශයෙන් කෘෂිකර්ම හා වනාන්තර හඳුනාගනු ලැබ තිබේ. පැරිස් ගිවිසුමේ 13 වන වගන්තිය අනුව පාර්ශ්ව රාජ්‍යයන් විසින් දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය විනිවිදභාවයෙන් යුතුව වාර්තා කළ යුතු වේ. ඒ අනුව, කෘෂිකර්ම, වනාන්තර හා වෙනත් ඉඩම් පරිහරණ ක්ෂේත්‍ර සඳහා විනිවිදභාවය වැඩිදියුණු කළ රාමුව සකස් කිරීම පිණිස ගෝලීය පාරිසරික පහසුකමේ මූල්‍ය ප්‍රදානයක් යටතේ පරිසර අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගයෙන් යුතුව ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය පරිසර පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් 863,242ක ප්‍රදානයක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අදාළ ප්‍රදානය ලබා ගැනීම පිණිස එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ ගිවිසුමකට අත්සන් තැබීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.