• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් "ප්‍රජා සහායක (ස්වේච්ඡා)" ලෙස තරුණ තරුණියන්ගේ සේවාව ලබාගැනීම
- ජපානය සහ සිංගප්පූරුව වැනි රටවල ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා පොලිස් සේවාව මඟින් ප්‍රජා මට්ටමින් සිදු වන සුළු අපරාධ අවම කර ගැනීමේ හැකියාව හඳුනාගනු ලැබ ඇත. එවැනි වැඩසටහන්වල සාර්ථකත්වය මත පදනම්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව 2021 මැයි මාසයේ සිට ප්‍රජා පොලිස් සේවා වැඩසටහන යටතේ පූර්ණකාලීනව පොලිස් නිලධාරින් දෙදෙනෙකු සෑම ග්‍රාම නිලධාරි වසමකටම අනුයුක්ත කිරීමට පියවර ගනු ලැබ ඇත. එකී පොලිස් නිලධාරින්ගේ රාජකාරි කටයුතුවලට ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම පිණිස අදාළ ග්‍රාම නිලධාරි වසමේ පදිංචි තරුණ තරුණියන් දෙදෙනෙකු "ප්‍රජා සහායක (ස්වේච්ඡා)" වශයෙන් සේවයේ යෙදවීමට සැලසුම් කර තිබේ. අදාළ ග්‍රාම නිලධාරි වසමේ ස්ථිර පදිංචි, වයස අවුරුදු 18ට වැඩි, පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන් වශයෙන් කටයුතු කර ඇති, යෞවන සමාජ සාමාජිකත්වය දරන සහ වෙනත් ස්වේච්ඡා කණ්ඩායම්වල ක්‍රියාකාරි තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැක. ඔවුන් විසින් ගෞරවනීය සේවාවක් සපයනු ලබන අතර, කිසිඳු දීමනාවක් හෝ වෙනත් අයිතිවාසිකමක් ඔවුන්ට හිමි නොවනු ඇත. ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔවුන් සඳහා ස්වේච්ඡා හැඳුනුම්පතක් නිකුත් කරනු ලබන අතර මාස 06ක සේවා කාලය ඉක්ම වූ පසු "ප්‍රජා නායකත්වය" පිළිබඳ සේවා සහතිකයක් ලබා දෙනු ලැබේ. යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ වැඩපිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.