• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතිය සමඟ මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම ඒකාබද්ධ කිරීම
- ශ්‍රී ලංකාවේ වත්මන් සක්‍රීය වාහන ප්‍රමාණය මිලියන 05කට අධික වන අතර එය 2000 වර්ෂයට වඩා තුන් ගුණයක වැඩි වීමක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් සහ මෝටර් රථ ‍වැනි පුද්ගලික වාහන ආනයනය ඉහළ යාම ඒ සඳහා හේතු වී ඇති බව නිරීක්ෂණය වේ. එසේම, ආදායම් මට්ටම ඉහළ යාම සහ පවතින පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී ඇති වන අපහසුතා හේතුවෙන් පුද්ගලික වාහන භාවිතයට වැඩි නැඹුරුවක් පවතින බව පෙනී යන අතර පෞද්ගලික මෝටර් රථ භාවිතය සීඝ්‍ර ලෙස වර්ධනය වීම මෝටර් නොවන ප්‍රවාහන ක්‍රමයන්හි දායකත්වය අඩු වීමට ද හේතු වී ඇත. මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම භාවිතය තුළින් වායු දූෂණය අවම කිරීම මෙන්ම ශරීර සෞඛ්‍යය, වාතයේ ගුණාත්මකභාවය, පරිසරය, දේශගුණික විපර්යාස සහ පුද්ගල මූල්‍ය තත්ත්වය වැනි කරුණු කෙරෙහි ධනාත්මක බලපෑමක් ද ඇති කරනු ලබයි. එබැවින්, ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ ළඟා කර ගැනීම සඳහා මෝටර් නොවන ක්‍රමවේදයන් පවත්නා ප්‍රවාහන පද්ධතීන් සමඟ ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත. ඒ අනුව, පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින්, අදාළ අමාත්‍යාංශ සහ ආයතන විසින් ඒකාබද්ධ ප්‍රවේශයක් යටතේ පහත සඳහන් පියවරයන් ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් එකඟතාව ලබා දෙන ලදී.

* පවතින මාර්ග සඳහා සුදුසු පරිදි පාපැදි මංතීරු සලකුණු කිරීම සහ පදිකයින් සඳහා වන දැනට පවතින ඇවිදීමේ මංතීරු වැඩිදියුණු කිරීම;

* අනාගතයේ ඉදි කරනු ලබන මාර්ග සඳහා පා පැදි සහ ඇවිදීමේ මංතීරු ඇතුළත් කිරීමට පියවර ගැනීම;

* රජයේ කාර්යාල කාර්යමණ්ඩල සඳහා පා පැදි භාවිතය දිරි ගැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම; සහ

* කාර්යාලවල පා පැදි භාවිත කරන්නන් සඳහා ඒවා නවතා තැබීමේ ස්ථාන සහ ඒ සඳහා ප්‍රවේශය ඇතුළු අවශ්‍ය පහසුකම් සපයා දීම.