• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත ශ්‍රී ලංකා - "සෑම අයෙක් - එක් පැළයක්" ජාතික වැඩසටහන
- ශ්‍රී ලංකාවේ දැනට පවතින වනාන්තර ආරක්ෂා කර ගනිමින් 2025 වන විට වන වැස්ම 30% දක්වා ඉහළ නැංවීමටත්, ජලපෝෂක ප්‍රදේශ සුරක්ෂිත කරමින් ආක්‍රමණික ශාක ඉවත් කර හිතකර ශාකවලින් වන ගහණය වැඩි කිරීමටත් යෝග්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා 2022 අයවැය යෝජනා යට‍තේ රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව, හරිත ශ්‍රී ලංකා - "සෑම අයෙක් - එක් පැළයක්" යනුවෙන් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය විසින් අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත. ඒ යටතේ පහත සඳහන් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි.

* වන ගම්මාන 200ක් ස්ථාපිත කිරීම.

* පාසල් සහ ජාතික අධ්‍යාපනික ආයතන තුළ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

* දීපව්‍යාප්ත ඔසු උද්‍යාන ස්ථාපනය කිරීම.

* ආගමික ස්ථාන තුළ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

* වැව් තාවුලු, වාරි රක්ෂිත සහ ජල පෝෂක ප්‍රදේශ තුළ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

* රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සතුව පවත්නා ඉඩම්වල රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

* වතු සමාගම් විසින් කළමනාකරණය කරනු ලබන ඉඩම්වල සහ පෞද්ගලික හිමිකාරිත්වය සහිත ඉඩම්වල රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

* දීපව්‍යාප්ත පැළ තවාන් ස්ථාපිත කිරීම.

* වනජීවී හා වන සංරක්ෂණය පිළිබඳව පාසල් සිසුන් හා ප්‍රජාව දැනුම්වත් කිරීම සඳහා ප්‍රචාරණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම.

* වන වගාව සඳහා සුදුසු ශාක ප්‍රභේද හඳුනාගැනීම මෙන්ම සංවර්ධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල සමඟ එක්ව පර්යේෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

එකී ව්‍යාපෘති, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පරිදි එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.