• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි නකල්ස් කාබනික කෘෂිකර්ම කලාපය සඳහා කාබනික පොහොර නිෂ්පාදන අංගනයක් ඉදිකිරීම
- මොරගහකන්ද, කළු ගඟ මහවැලි "එෆ්" කලාපය කාබනික කෘෂිකාර්මික නිෂ්පාදනයන් සිදු කරන තිරසර සංවර්ධන කලාපයක් ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ විධිවිධාන පරිදි ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. වස විසෙන් තොර කාබනික යෙදවුම් භාවිත කර කෘෂි භෝග නිෂ්පාදනය මඟින් ගොවි ප්‍රජාවගේ ආදායම ඉහළ නැංවීමත්, කාබනික ගොවිතැන පිළිබඳ ඉහළ නිපුණතාවකින් යුත් ගොවි ප්‍රජාවකගේ දායකත්වයෙන් ජාතික කාබනික කෘෂි භෝග නිෂ්පාදන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමත් එමඟින් අපේක්ෂා කරනු ලබයි. දිගුකාලීනව භෝග වගා කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර එම කලාපය තුළම නිෂ්පාදනය කිරීමේ අරමුණින් කාබනික පොහොර නිෂ්පාදන අංග දෙකක් අවශ්‍ය විද්‍යාගාර පහසුකම් ද සහිතව වැල්ලේවෙල හා ගුරුවෙල යන මහවැලි කොට්ඨාසයන්හි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. එහි පළමු අදියර වශයෙන් වැල්ලේවෙල කාබනික පොහොර නිෂ්පාදන අංගනය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් වාර්ෂිකව පොහොර මෙට්‍රික් ටොන් 2,000ක් පමණ නිපදවිය හැකි බවට පුරෝකථනය කර තිබේ. ඒ අනුව, එකී කාබනික පොහොර අංගනය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව සෘජු කොන්ත්‍රාත්තුවක් වශයෙන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිස වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.