• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
- 2021/2022 මහ කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
- වී ගොවීන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමත් රජය විසින් ආරක්ෂිත වී සංචිතයක් පවත්වා ගෙන යාමත් අරමුණු කර ගනිමින් 2021/2022 මහ කන්නයේදී රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම වී අස්වනු මිලදී ගැනීම, වී අළෙවි මණ්ඩලය මඟින් ඍජුව සහ දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරුන් විසින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මෙහෙයවීම මඟින් සිදු කෙරේ. ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 29,805ක ප්‍රතිපාදන රාජ්‍ය බැංකු හරහා සලසා ගනු ඇත. ඒ අනුව, කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පහත සඳහන් පරිදි තීරණය කරන ලදී:

(i) 2021/2022 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ පෞද්ගලික අංශය සමඟ තරගකාරී මිල ගණන් මත වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම.

(ii) 2021/2022 මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදු වුවහොත් ඒ හේතුවෙන් බලපෑමට ලක්වන වී ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකකට රුපියල් 25/-ක් බැගින් වූ වන්දි මුදලක් ගෙවීම.