• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කලාප ස්ථානගත කිරීම සහ නව ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් ආයෝජන අවස්ථා ලබා දීමේ ජාතික ව්‍යාපෘතිය
- 2022 අයවැය මඟින් දැනට ක්‍රියාත්මක වන කර්මාන්තපුර පිහිටුවීමේ වැඩසටහන ප්‍රාදේශීයකරණය කරමින් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්ත කලාප පිහිටුවමින් ප්‍රාදේශීය කර්මාන්තකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට යෝජනා කරන ලදී. ඒ අනුව, කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැඩසටහනක් සැලසුම් කර ඇති අතර, ඒ ය‍ටතේ දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හඳුනාගනු ලබන ඉඩම් ප්‍රමාණය අනුව කර්මාන්තපුර වර්ග දෙකක් ස්ථාපනය කිරීමට අපේක්ෂා කරනු ලබයි. අක්කර 5-15 ඉඩම් කොටසක කර්මාන්තශාලා 15-35 අතර ප්‍රමාණයකින් යුත් කුඩා පරිමාණයේ කර්මාන්තපුර සහ අක්කර 15-25 අතර වන ඉඩම් කොටසක කර්මාන්තශාලා 35-50 අතර ප්‍රමාණයකින් යුත් මධ්‍ය පරිමාණ කර්මාන්තපුර ඉදි කිරීමට යෝජිතය. කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා ජාතික කමිටුවක් හා දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවක් පත් කරනු ඇත. ඒ අනුව, යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.