• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අවයව, පටක සහ සෛල බද්ධ කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය
- වකුගඩු, අක්මාව, හෘදය, පෙනහලු සහ අග්න්‍යාශය ආදී අභ්‍යන්තර අවයව අක්‍රීය වීමේ අවසන් අවස්ථාවේ පසු වන රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක් වශයෙන් අවයව, පටක සහ සෛල බද්ධ කිරීමේ ක්‍රමවේදය සලකනු ලබයි. ශ්‍රී ලංකාවේ කොළඹ සහ මහනුවර පිහිටි ප්‍රධාන ජාතික මධ්‍යස්ථාන 02 ඇතුළුව රජයේ රෝහල් 09ක දැනට අවයව බද්ධ කිරීමේ සැත්කම් සිදු කරනු ලබයි. අවයව පරිත්‍යාගශීලීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල මෙන්ම අවයවලාභී රෝගීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම හා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස අවයව බද්ධ කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සමුළුවේ 57 වන ප්‍රඥප්තිය සහ මිනිස් අවයව බද්ධ කිරීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මූලධර්ම මත පදනම්ව අවයව, පටක සහ සෛල බද්ධ කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සකස් කරනු ලැබ ඇත. එකී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.