• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් භුක්ති විඳින ත්‍රිකුණාමලයේ කුච්චවේලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටි ඉඩම පවරා දීම
- ශ්‍රී ලංකා රජය සහ ජර්මානු ජනරජයේ ගුවන් විදුලි සේවාව වන ඩොයිස්වෙල් ආයතනය අතර 1980 වර්ෂයේදී අත්සන් කරන ලද ගිවිසුමක් අනුව ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ "ජර්මානු හඬ" ගුවන්විදුලි කෙටි තරංග හා මධ්‍ය තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කර පවත්වාගෙන ගොස් ඇත. 2012 වර්ෂයේදී අදාළ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ කටයුතු හා හිමිකම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙත පවරා දී ඇති අතර එහි භූමියෙන් 90%ක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ කටයුතු සඳහා භාවිත කරනු ලබයි. සම්ප්‍රේෂණාගාර ක්‍රියාකාරිත්වයට හානි නොවන පරිදි සූර්යබල උත්පාදනය සඳහා අදාළ භූමිය යොදා ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ආදායම් ලැබීමේ මාර්ගයක් වශයෙන් එකී ඉඩමේ සූර්යබල උත්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අදාළ ඉඩම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙත පවරා දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.