• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආර්ථිකය 2022 සහ ඉදිරි මග
- 2022 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුව මඟින් සම්මත වී 2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති අතර, එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ බාහිර ඉදිරි දැක්ම (External Outlook) සම්බන්ධයෙන් වන පහත සඳහන් තොරතුරු සවිස්තරාත්මකව මුදල් ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී:

* විදේශ ණය සේවාකරණ ගෙවීම් සහ අපේක්ෂිත භාණ්ඩ හා සේවා ආනයන වියදම් ඇතුළුව 2022 වර්ෂය තුළදී රටින් බැහැරට ගලා යනු ඇතැයි ඇස්තමේන්තුගත විදේශ විනිමය පිළිබඳ තොරතුරු.

* අපනයන ආදායම්, සංචාරක කර්මාන්තය මඟින් ඉපැයීම්, විගමණික සේවකයින් විසින් මෙරටට සිදු කරනු ලබන ප්‍රේෂණයන්, සෘජු විදේශීය ආයෝජන ඇතුළුව 2022 වර්ෂය තුළදී අපේක්ෂිත විදේශ විනිමය ගලා ඒම්.

* අපේක්ෂිත විදේශ විනිමය හිඟය පියවා ගැනීම සඳහා යෝජිත කෙටි හා මැදි කාලීන පියවරයන්.

* පවතින ආර්ථික තත්ත්වය යටතේ භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික අපහසුතා අවම කිරීම පිණිස යෝජිත පහත සඳහන් සහනයන්:

(i) රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000/- බැගින් වූ මාසික දීමනාවක් ජනවාරි මස සිට ලබා දීම.

(ii) පෞද්ගලික අංශයේ සේවායෝජකයින් සමඟ සාකච්ඡා කර එම සහනය පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබා දීමට පියවර ගැනීම.

(iii) රුපියල් 3,500/-ක මාසික දීමනාවක් හිමි සමෘද්ධිලාභින්ට රුපියල් 1,000/-ක අමතර දීමනාවක් ලබා දීම සහ එම දීමනාව අනෙකුත් සමෘද්ධිලාභින්ට ද ලබා දීම.

(iv) ඉදිරි කන්නයේදී වී අස්වැන්නෙහි යම් අඩුවක් සිදු වුවහොත් දැනට වී ‍කිලෝග්‍රෑම් එකකට ගෙවනු ලබන රුපියල් 50/-ක සහතික මිලට අමතරව වී ‍කිලෝග්‍රෑම් එකකට රුපියල් 25/-ක අතිරේක මුදලක් ගෙවීම.

(v) වෙළෙඳපොළේ සහල් මිලට බලපෑමක් නොවන පරිදි එලෙස ගෙවනු ලබන අතිරේක මුදල රජය විසින් දරා ගැනීම.

(vi) තම පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු හා පළතුරු වගා කිරීම දිරිමත් කිරීම සඳහා ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා අවශ්‍ය වන භූමිය සකස් කිරීම, බීජ ලබා ගැනීම වැනි යෙදවුම් සඳහා ඉඩමේ ප්‍රමාණය අනුව උපරිමය අක්කරයක් දක්වා රුපියල් 10,000/-ක උපරිමයකට යටත්ව දිරිගැන්වීමේ දීමනාවක් ලබා දීම.

(vii) වතුකම්කරු පවුලක් සඳහා කිලෝග්‍රෑම් එකක් රුපියල් 80/- බැගින් තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15ක් සහන මිලකට ලබා දීම.

(viii) අවශ්‍ය අවස්ථාවන්වලදී දේශීය ගොවින් හා නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සියලුම අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීම.

මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද ඉහත සඳහන් යෝජනා ඇතුළත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.