• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වහල මත සවි කරනු ලබන සූර්ය බල පද්ධති සඳහා බැටරි බලශක්තිය ගබඩා කිරීමේ බැටරි පද්ධති ස්ථාපනය කිරීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන
- 2030 වන විට විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් උත්පාදනය කිරීම සඳහාත් වර්ෂ 2050 වන විට බලශක්ති උත්පාදනයේදී ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබ ඇත. මේ වන විට රටේ විදුලිබල පද්ධතියට මෙගාවොට් 400ක පමණ ධාරිතාවක් වහල මත සවිකර ඇති සූර්ය විදුලි පද්ධති මඟින් සපයනු ලබයි. මෙම පද්ධති සඳහා නව ගාස්තු ක්‍රමවේදයක් ඔස්සේ ස්වයං මූල්‍ය ආයෝජන මත බැටරි පද්ධති සවි කිරීම පිණිස උනන්දු කිරීම තුළින් පාරිභෝගිකයින්ට වඩාත් විශ්වසනීය විදුලි සැපයුමක් සලසා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙම තත්ත්වය යටතේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙන විදුලිය ඉහළ ප්‍රතිශතයක් ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේදී පැන නැඟිය හැකි තාක්ෂණික අභියෝගයන් හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කරනු ලැබූ අතර, එකී නිලධාරි කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට 2021 නොවැම්බර් මස 23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. එකී අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.