• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීම
- න්‍යෂ්ටික අවි පුළුල් ලෙස තහනම් කිරීම සඳහා ගෝලීය වශයෙන් අදාළ වන පළමු බහුපාර්ශ්වික ගිවිසුම ලෙස න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුම රාජ්‍යයන් 122ක සහාය ඇතිව 2017 ජූලි මස 07 දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත කරනු ලැබ ඇත. එකී ගිවිසුම 2021 ජනවාරි මස 22 දින සිට බලාත්මක වූ අතර, මේ වන විට ඒ සඳහා අත්සන් පාර්ශ්වයන් 86ක් සහ අපරානුමත කිරීම් 57ක් පවතී. එක්සත් ජාතීන්ගේ සමුළුවේදී මෙම ගිවිසුම සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් පක්ෂව ඡන්දය දී සහාය පළ කරන ලද අතර ඒ සඳහා විශ්වීය අනුගත වීම නිරන්තරයෙන්ම ප්‍රවර්ධනය කරමින් සිටී. අදාළ ගිවිසුමට සහභාගි වන රාජ්‍යයන්ට න්‍යෂ්ටික අවි හෝ වෙනත් න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය සංවර්ධනය කිරීම, පරීක්ෂා කිරීම, නිමැවීම, නිෂ්පාදනය කිරීම, මාරු කිරීම, සන්තකයේ තබා ගැනීම, ගබඩා කිරීම සහ ඒවා භාවිත කරනු ලබන බවට තර්ජනය කිරීම හෝ තම භූමිය තුළ එවැනි අවි ස්ථානගත කිරීමට ඉඩ සැලසීම මෙන්ම එවැනි ක්‍රියාකාරකමක නියැලීම සඳහා කිසිවෙකුට සහාය වීම, දිරිගැන්වීම හෝ පෙළඹවීම ද එම ගිවිසුම මඟින් තහනම් කරයි. මෙම ගිවිසුමට අත්සන් තැබීම සමූලඝාතක අවිවලට එරෙහිව සහ න්‍යෂ්ටික නිරායුධකරණයට පක්ෂව වන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ස්ථාවරයට සම්පූර්ණයෙන්ම අනුකූල වේ. ඒ අනුව, ශ්‍රී ලංකාව විසින් එකී ගිවිසුමට අත්සන් තැබීම සඳහාත්, එය අපරානුමත කිරීමේ ක්‍රියාවලීන් හැකි ඉක්මණින් අවසන් කිරීමේ අරමුණින් අදාළ ජාතික නීති සම්පාදනය සමාලෝචනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහාත් විදේශ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.