• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම
- ප්‍රාදේශීය කර්මාන්තපුර වැඩසටහන ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කර ගෙන ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහනක් වේ. එම වැඩසටහන සඳහා සුදුසු ආයෝජකයින් හඳුනාගැනීම 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත යටතේ පිහිටුවා ඇති ‘ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව’ සහ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ‘අමාත්‍යාංශය ව්‍යාපෘති ඇගයීම් කමිටුව’ විසින් ව්‍යාපෘති යෝජනා පූර්ණ ඇගයීමකින් අනතුරුව සිදු කරනු ලැබේ. ඒ අනුව, ඉහත කමිටු විසින් ව්‍යාපෘති යෝජනා 27ක් අධ්‍යයනය කර එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කර්මාන්තපුර 15කින් ඉඩම් කොටස් වෙන් කර දීම නිර්දේශ කරනු ලැබ ඇත. තෝරා ගනු ලැබ ඇති ආයෝජකයන් විසින් රුපියල් මිලියන 4,523.34ක් ආයෝජනය කිරීමටත් ඍජු රැකියා අවස්ථා 2,477ක් ජනනය කිරීමටත් අපේක්ෂා කරනු ලැබේ. ඒ අනුව, අදාළ ආයෝජකයින් වෙත වසර 35ක දීර්ඝකාලීන බදු පදනම මත ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.