• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය සභා සීමාවන්හි පිහිටි නාගරික ප්‍රදේශ හඳුනා ගැනීම හා ප්‍රකාශයට පත් කිරීම
- නාගරික ප්‍රදේශ ලෙස වර්ගීකරණය කිරීමේදී ඒ සඳහා භාවිත කරනු ලබන ප්‍රධානම නිර්ණායකය ලෙස "පරිපාලනමය ඒකකය" භාවිතා කෙරේ. ඒ අනුව, මහ නගර සභා සහ නගර සභා ප්‍රදේශ පමණක් දැනට නිල වශයෙන් නාගරික ප්‍රදේශ ලෙස වර්ගීකරණය කර ඇත. එකී නිර්ණායකයේ පවතින දුර්වලතාව හේතුවෙන් බොහෝ නාගරීකරණය වූ ප්‍රදේශ ද තවමත් ග්‍රාමීය ප්‍රදේශ ලෙස හඳුනාගනු ලබන බැවින් නාගරීකරණය පිළිබඳ නිවැරදි අර්ථ දැක්වීමක අවශ්‍යතාව පැන නැගී තිබේ. 2000 අංක 49 දරන පනතින් සංශෝධිත 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනතේ විධිවිධාන අනුව නාගරික සංවර්ධන ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේ බලය ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. එබැවින්, උපදේශක කමිටුවක සහය ලබාගෙන ප්‍රාදේශීය සභා සීමාවන්හි පිහිටි නාගරික ප්‍රදේශ හඳුනාගැනීමටත්, එකී කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රාදේශීය සභා සීමාවන්හි හඳුනාගනු ලබන නාගරික ප්‍රදේශ නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනතේ විධිවිධාන අනුව ප්‍රකාශයට පත් කිරීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.