• Increase font size
  • Default font size
  • Decrease font size

2021-12-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා අනන්‍යතා අංකය සහිත ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම
- ශ්‍රී ලංකාවේ උපදින ඕනෑම දරුවකු උපතේදී ලියාපදිංචි කර එම දරුවාට ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ බලය උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනත අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. 1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන පරිදි ජාතික පුද්ගල නාමාවලිය පවත්වාගෙන යාම සහ වයස අවුරුදු 15ට එළඹි හා එළඹෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඉල්ලීම මත ඔවුන් ලියාපදිංචි කර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ. එමෙන්ම, 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති 2019 අංක 1 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (ශ්‍රී ලංකා අනන්‍යතා අංක) නියෝග යටතේ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු සඳහාම ශ්‍රී ලංකා අනන්‍යතා අංකය නිකුත් කිරීම සඳහා ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත බලය ලබා දී ඇත. එකම අනන්‍යතා අංකයක් භාවිත කිරීම මඟින් උපතේ සිට මරණය දක්වා සිදු කරන ක්‍රියාකාරකම්වලදී සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් සේවාවන් ලබා ගැනීමේදී එම කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂමව ඉටු කර ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේදී අවස්ථාව ලැබෙනු ඇත. ඒ අනුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය හරහා මාර්ගගතව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරීමටත්, එකී අංකය ඇතුළත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් අදාළ පුද්ගලයාගේ උප්පැන්න සහතිකය නිකුත් කිරීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.