• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික තෙල් හා වායු සමාගමක් පිහිටුවීම
- වර්ෂ 2011 සිට 2013 දක්වා කාල වකවානුව තුළ මන්නාරම් ‍ද්‍රෝණියේ M2 බිම් කොටසේ සිදු කරන ලද ග‍වේෂණ අනුව මෙරට තුළ ඛනිජ තෙල් හා ස්වභාවික වායු නිධි පවතින බව තහවුරු වී ඇත. ඛනිජ තෙල් හා ස්වභාවික වායු නිපදවාගැනීම තුළින් දේශීය අවශ්‍යතාවය සඳහා ෆොසිල ඉන්ධන ආනයනය මත යැපීම අඩු කර ගැනීමටත්, අනාගතයේදී ස්වභාවික වායු අපනයනකරුවකු බව‍ට පත් වීමෙන් විදේශ විනිමය උපයා ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත. වාණිජමය ශක්‍යතාවයෙන් යුතු ගවේෂණ සහ නිෂ්පාදන කටයුතුවල නියැළීමට හැකි වන පරිදි දේශීය වායු ‍ගවේෂණය සහ නිෂ්පාදනය ද ඇතුළත්ව ගබඩාකරණය, නළ මාර්ග ඉදිකිරීම, ප්‍රවාහනය හා බෙදාහැරීමේ යටිතල පහසුකම් සංවර්ධනය, හිමිකාරිත්වය සහ මෙහෙයුම් කිරීමට අදාළව රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව මාදිලිය යටතේ ජාතික වායු සමාගමක් රජය විසින් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලබන බව "ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය" මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. එම සමාගම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර එම සමාගමට 2021 අංක 21 දරණ ඛනිජතෙල් සම්පත් පනතෙහි V වන කොටස ප්‍රකාරව පැවරී ඇති කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේ වගකීම පැවරෙනු ඇත. ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ "ජාතික තෙල් වායු සමාගම" පිහිටුවීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.