• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර අභයභූමියෙහි නව මායිම් ප්‍රකාශයට පත් කිරීම
- හෙක්ටයාර 9,323.96ක භූමි ප්‍රදේශයක් සහිත ගල්ඔය නිම්න ඊසාන දිග අභයභුමිය හෙවත් අම්පාර අභයභූමිය 1954 වර්ෂයේදී වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත ප්‍රකාරව අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඉන් පසුව ගල්ඔය ගොවිජනපද ව්‍යාපාරය යටතේ නාගරික මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කරන ලද අම්පාර නගරය අද වන විට පුළුල් ලෙස සංවර්ධනය වී තිබේ. නගර සභා ක්‍රීඩා පිටි, පන්සල් වැනි රජයේ හා රජයට අනුබද්ධ විවිධ පොදු පහසුකම් සඳහා අභය භූමිය තුළ පිහිටි ඉඩම් සංවර්ධනය කර තිබීමත්, ඇතැම් ඉඩම් කොටස් රජයේ අනුග්‍රහය සහිතව පෞද්ගලික පාර්ශ්වයන් වෙත ලබා දී සංවර්ධනය කර තිබීමත් ආදී හේතූන් මත අම්පාර නගර සැලැස්මේ දැනට සංවර්ධනය වී ඇති ලෙස හඳුනාගෙන තිබෙන ඉඩම් කොටස් අභයභූමියෙන් ඉවත් කර නව මායිම් ප්‍රකාශයට පත් කිරීම සඳහා 2009 මැයි මස 20 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අම්පාර නගර සැලැස්මට අදාළ භූමිය තුළ හඳුනාගෙන ඇති ස්වභාවික වන ගහනයෙන් යුක්ත නිතර වන අලි සහ වෙනත් වන සතුන් ගැවසෙන භූමි කොටස තවදුරටත් අභයභූමි කලාපයට අයත් කොටසක් වශයෙන් පවත්වාගෙන යාමටත්, එයට ඇතුළත් හෙක්ටයාර 46.18ක වර්ග ප්‍රමාණයෙන් යුතු ජනාකීර්ණ හා සංවර්ධිත ප්‍රදේශ අභයභූමියෙන් ඉවත් කොට ප්‍රකාශයට පත් කිරීමටත්, නව මායිම් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.