• Increase font size
  • Default font size
  • Decrease font size

2021-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉස්සන් ගොවිපළවල වගාව තීව්‍ර කිරීම තුළින් නිෂ්පාදනය හා අපනයනය ඉහළ නැංවීම අරමුණු කර සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
- 2020 වර්ෂයේදී මෙට්‍රික්ටොන් 8,000ක් පමණ වූ මෙරට ඉස්සන් නිෂ්පාදනය 2025 වර්ෂය වන විට මෙට්‍රික්ටොන් 50,000ක් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත. 2019 සහ 2020 වර්ෂවලදී ඉස්සන් නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කරගෙන වැනමි ඉස්සන් වගාව හඳුන්වා දී තිබේ. එම ඉස්සන් වැඩි වර්ධන වේගයක් සහිත වීම, රෝග සෑදීමේ ප්‍රවණතාව අවම වීම, පොකුණු තුළ වගා කිරීමේදී ඉතා ඉහළ තැන්පතු ඝනත්වයක් යටතේ වගා කළ හැකි වීම යන හේතූන් නිසා ඉතා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව පවතී. එසේම, එම ඉස්සන් වර්ගය වසරකට වගා කන්න තුනක් යටතේ වගා කිරීමට ද හැකියාව පවතී. එහෙත්, ඉහළ ඝනත්වයක් යටතේ මෙම වගාව සිදු කිරීම පිණිස සහ එම හේතුව මත ඉතා ඉහළ ප්‍රමාණයකින් පොකුණට එකතු වන කාබනික අපද්‍රව්‍ය ඉවත් කිරීම පහසු කරලීම පිණිස වගාව සඳහා යොදා ගනු ලබන සාම්ප්‍රදායික මඩ පොකුණු ඉහළ ඝනත්වයෙන් යුත් පොලිඑතිලින් මඟින් ආස්තරණය කර නවීකරණය කිරීම අවශ්‍ය වේ. තව ද, මෙයට සමගාමීව, ඉහළ යන ඉස්සන් අස්වැන්න අපනයනය සඳහා ගබඩා කිරීමට සහ එමගින් අගය එකතු කරන ලද නිෂ්පාදන සැකසීමට ඉස්සන් සැකසුම් මධ්‍යස්ථානයන්හි ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම ඒවා නවීන තාක්ෂණය යොදා නවීකරණය කිරීම ද අවශ්‍ය වේ. ඒ අනුව, වැනමි ඉස්සන් වගාව සඳහා ඉස්සන් වගාකරුවන් උනන්දු කිරීමේ අරමුණින් අවශ්‍ය ප්‍රාග්ධනය සලසා දීම සඳහා රාජ්‍ය බැංකු මඟින් සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.