• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බහාලුම් ගත භාණ්ඩ පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් කෙරවලපිටියේ ස්ථාපනය කිරීම
- ශ්‍රී ලංකා රේගුව විසින් දැනට බහාලුම්ගත භාණ්ඩ පරීක්ෂා කිරීම් කටයුතු ඔරුගොඩවත්ත සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අංශය සතු අංගන 03කදී සිදු කරනු ලැබේ. එම අංගනයන්හි පවතින සීමිත ඉඩකඩ හා සීමිත පහසුකම් හේතුවෙන් එම කටයුතුවල යෙදෙන රේගු නිලධාරින්ට මෙන්ම සේවා ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන්ටද අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත. එමෙන්ම, එම අංගන වෙත බහාලුම් ප්‍රවාහනය කිරීමේදී කොළඹ ප්‍රදේශ තුළ දැඩි රථවාහන තදබදයක්ද ඇති වේ. එම තත්ත්වය සැලකිල්ලට ගෙන, බ්ලූමැන්ඩල්, පෑලියගොඩ හා කෙරවලපිටිය යන විකල්ප ස්ථාන අතුරින් වඩාත් යෝග්‍ය ස්ථානය හඳුනාගැනීම පිණිස ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණ සහාය යටතේ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇති අතර, ඒ අනුව වඩාත්ම සුදුසු ස්ථානය වශයෙන් කෙරවලපිටිය අන්තර් හුවමාරුවට ආසන්නයේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් අක්කර 19 පර්චස් 9.26කින් යුත් ඉඩම් කොටසක යෝජිත පරීක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, අදාළ ඉඩම් කොටස එම කාර්යය සඳහා වෙන් කිරීමටත්, බහාලුම් පරීක්ෂා කිරීමේ යෝජිත මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට අදාළ පියවර ගැනීමටත් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.