• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'No New Coal' ගෝලීය බලශක්ති ගිවිසුම/ගෝලීය පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ ප්‍රකාශය
- එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 26 වන සමුළුව 2021 ඔක්තෝබර් මස 31 දින සිට නොවැම්බර් මස 12 දින දක්වා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිතව ඇත. දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය, කියෝතෝ සම්මුතිය සහ පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව සමාලෝචනය කිරීමට සහ එම එකඟතාවන් තවදුරටත් වර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය තීරණවලට එළඹීමට මෙම සමුළුවේදී අපේක්ෂා කරනු ලබයි. මෙම සමුළුවේ සභාපතිත්වය දරන එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තවත් සාමාජික රටවල් කිහිපයක් සමග එක්ව රජයන් විසින් පිරිසිදු බලශක්ති න්‍යාය පත්‍රයක් වෙනුවෙන් කැපවීම සඳහා ගල් අඟුරුවලින් තොර ගෝලීය බලශක්ති සම්මුතියක් යෝජනා කිරීමට සැලසුම් කර ඇත. එකී සම්මුතියට අත්සන් තබනු ලබන රාජ්‍යයන් විසින් පරිසර දූෂණය අවම කිරීමට සහ/හෝ එයින් පරිසරයට ඇති කරන බලපෑම වැළැක්වීමට ක්‍රමවේදයක් නොමැති ගල් අඟුරු විදුලි ජනන ව්‍යාපෘති සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම වහාම නතර කිරීමටත්, ගල් අඟුරු බලාගාර මඟින් විදුලිය නිපදවන අලුත් ව්‍යාපෘති ඉදි කිරීම් වසර අවසානය වන විට නැවැත්වීමටත් වගකීමට බැ‍‍ඳෙනු ඇත. ඒ අනුව, එකී සම්මුතියට සහයෝගය ලබා දීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.