• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මහර ගල්වල ඉඩමෙහි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජාතික වරාය ප්‍රධාන සැලැස්ම මඟින් කොළඹ වරායේ සේවා සැපයුම් හා ඒ හා සම්බන්ධිත කටයුතු සංවර්ධනය කිරීමේ කඩිනම් අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වරාය හා සම්බන්ධ සේවා සැපයුම් අංශයක් ක්‍රියාත්මක කිරීමට වරාය අධිකාරිය සැලසුම්කර තිබේ. එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී දැනට බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල නිවාස සුදුසු භූමියක ස්ථාපනය කළ යුතුව ඇත. රාගම මහර ප්‍රදේශයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිව පවතින හෙක්ටයාර 08ක වපසරියකින් යුත් භූමි ප්‍රදේශයේ කොටසක් කොළඹ වරාය ඉදි කරන ලද කාලයේදී කළුගල් සපයා ගන්නා වැඩබිමක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති අතර, දැනට මෙම ඉඩම කිසිදු ආකාරයක ඵලදායී කාර්යයකට යොදා ගනු නොලැබේ. එසේම එම භූමිය මේ වන විට වැසි ජලයෙන් පිරී පවතින බැවින්, එය ජල අභිමුඛ නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ස්වභාවයක පවතින බව ද හඳුනාගෙන ඇත. ඒ අනුව, එම ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් නේවාසික, නාගරික, සංස්කෘතිමය, ආයතනික සහ විනෝදාත්මක පහසුකම්වලින් සමන්විත වන පරිදි සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. එකී යෝජිත ව්‍යාපෘතිය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.