• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුණෑගල පළාත් මහ රෝහලේ අර්ධ වශයෙන් ඉදි කර ඇති වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීම
- කුරුණෑගල පළාත් මහ රෝහල ඇඳන් 2,355කින්, වාට්ටු 57කින් සහ විශේෂ ඒකක 28කින් සමන්විතය. එම රෝහලේ සංවර්ධන සැලැස්ම අනුව 2007 - 2009 කාල වකවානුවේදී නව වාට්ටු ස්ථාපිත කිරීම සඳහා පස්මහල් ගොඩනැගිල්ලක් අදියර වශයෙන් ඉදි කිරීමට සැලසුම් කර තිබූ නමුත් එම ඉදිකිරීම්වලින් මේ වන විට සම්පූර්ණ කර ඇත්තේ එහි දෙවන මහල දක්වා පමණි. නැසී ගිය අයිලින් ද මෙල් මහත්මියගේ අන්තිම කැමති පත්‍රය අනුව කුරුණෑගල රෝහලේ වාට්ටුවක් හෝ ගොඩනැඟිල්ලක කොටසක් ඉදි කිරීම සඳහා ආධාර මුදලක් වෙන් කර ඇති අතර ඒ මහත්මියගේ දේපළ භාරකාරත්වය වෙනුවෙන් පත් කර ඇති පාර්ශ්වය විසින් එකී පස් මහල් ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් අවසන් කර දීමට එකඟතාවය පළ කර ඇත. එම එකඟතාව පරිදි එම ව්‍යාපෘතිය වසර 02 ක් තුළ ක්‍රියාත්මක කොට අවසන් කිරීම සඳහා අයිලින් ද මෙල් මහත්මියගේ දේපළ භාරකාරත්වය වෙනුවෙන් පත් කර ඇති පාර්ශ්වය සමග එකඟතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.