• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය' යනුවෙන් ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීම
- ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන දේශීය හා අන්තර්ජාතික ශාස්ත්‍රීය ප්‍රමිතීන්ට අනුව ජනමාධ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය හා උසස් ප්‍රමිතින් රැකගැනීම සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. විශේෂයෙන්ම, පාසල් පද්ධතිය තුළ ජනමාධ්‍ය විෂය හදාරන සැලකිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින නමුත්, ඔවුන් සඳහා ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් ප්‍රමාණවත් අධ්‍යාපන ආයතන සංඛ්‍යාවක් මෙතෙක් ස්ථාපිත වී නොමැත. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වනු ලබන ජනසන්නිවේදන උපාධි පාඨමාලා කිහිපයක් දැනට පවතින නමුත් එම පාඨමාලා මඟින් වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු බිහි කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම ලබා නොදෙන බව ද නිරීක්ෂණය වී තිබේ. එබැවින්, දැනටමත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය කළමනාකරුවන්ට මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වීමට අපේක්ෂිත පාසල් සිසුන්ට ජනසන්නිවේදන විෂයය අධ්‍යයනය කිරීමට, අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට සහ ඔවුන්ගේ ධාරිතා වර්ධනය කර ගනිමින් වෘත්තීයමය භාවය වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව සැලසීමත්, සදාචාරාත්මක ස්වයං පාලනයක් සහිත මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍ය මාධ්‍යවේදීන් බිහි කිරීමත් අරමුණු කරගෙන, ජනමාධ්‍ය විෂයය සම්බන්ධයෙන් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධි සහ පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යයන අවස්ථා සලසා දීමට හැකි වන පරිදි ජනමාධ්‍ය උසස් අධ්‍යාපන පර්යේෂණ සහ පුහුණු ආයතනයක් ලෙස "ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය'' නමින් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.