• Increase font size
  • Default font size
  • Decrease font size

2021-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංවර්ධන ප්‍රමුඛතාවයන් වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම
- රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉදිරි පස් වසර තුළ අවශ්‍ය වන කළුගල්, වැලි, පස්, බොරළු සහ මැටි ප්‍රමාණයන් ඇස්තමේන්තු කිරීම, එම ව්‍යාපෘති සඳහා භූ සම්පත් සැපයීමේ ක්‍රමවේද හඳුනාගැනීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනෙකුත් ව්‍යාපෘති සහ කුඩා ජීවනෝපාය කටයුතු සඳහා අවශ්‍ය භූ සම්පත් භාවිතයේදී අනුගමනය කරනු ලබන බලපත්‍ර ක්‍රියාවලිය සරල කිරීම, විවිධ සංවර්ධන කටයුතු සඳහා භාවිත කළ හැකි ඉඩම් හඳුනාගැනීම ආදී අරමුණු සහිතව භූ සම්පත් පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටුවා ඇත. ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය කළුගල්, වැලි, පස්/බොරළු හා මැටි ලබා ගැනීමේදී අනුගමනය කරනු ලබන කැණීම් බලපත්‍ර ක්‍රියාවලිය මහජනතාවට හා සේවා දායකයන්ට පහසු කරලීම සඳහා වන නිර්දේශයන් එම කාර්යසාධක බලකාය විසින් සිය මූලික වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ. එකී නිර්දේශ සැලකිල්ලට ගෙන අදාළ ක්‍රියාවලිය සරල කිරීම සඳහා එම ක්‍රියාදාමයට සම්බන්ධ සියලුම ආයතන ප්‍රධානීන් වෙත අවශ්‍ය නියෝග ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීම සඳහාත්, ඉදිකිරීම් කර්මාන්තය සඳහා භාවිත කරන ඛනිජ කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව කාර්යය සංග්‍රහයක් නිකුත් කිරීම සඳහාත් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.