• Increase font size
  • Default font size
  • Decrease font size

2021-09-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවී‍මේ පනත යටතේ අන්තරායකර රැකියා නියෝග සංශෝධනය කිරීම
- කාන්තාවන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීම නියාමනය කිරීම හා ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම පිණිස 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත හඳුන්වා දී තිබේ. 2021 ජනවාරි මාසයේ සිට ළමයින් සේවයේ යෙදවීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නංවා ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අවම වයස් සම්මුතිය ශ්‍රී ලංකාව අපරානුමත කිරීමෙන් පසුව 2006 අංක 24 දරන සංශෝධිත ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනතට සිදු කළ සංශෝධන අනුව, අන්තරායකර රැකියා නියෝගයක් කම්කරු විෂයභාර ඇමතිතුමා විසින් නිකුත් කර ඇත. ඒ අනුව, වයස අවුරුදු 16-18ත් අතර තරුණ අයට අන්තරායකාරි රැකියාවන් 51ක් හඳුන්වා දී ඇති අතර, එම රැකියාවන්වල යෙදවීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර තිබේ. වසර 10කට පමණ පෙර හඳුන්වාදී ඇති එම නියෝග තවදුරටත් සමාලෝචනය කර ගෘහ සේවය, රූපලාවන්‍ය ආශ්‍රිත රැකියා සහ පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරණවලට අදාළ රැකියා ඇතුළුව කාලීන වශයෙන් අන්තරායකර නව රැකියා 20ක් හඳුනාගෙන ඇත. ඒ අනුව, අන්තරායකර රැකියා ලැයිස්තුව 71 දක්වා පුළුල් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති නියෝග පාර්ලිමේන්‍තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව සංශෝධිත නියෝග රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහාත් කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.